
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා, එම පත්වීමට පෙර, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුර දැරූ අතර, 2025 අගෝස්තු මාසයේ සිට මාස හතරක් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ලෙස ද කටයුතු කළේ ය. එමෙන් ම ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ පසු ගිය සංක්‍රාන්ති කාල පරිච්ඡේදයේ දී සමාගමේ ස්ථාවරත්වය, අඛණ්ඩතාව සහ වර්ධනය පවත්වා ගෙන යාම වෙනුවෙන් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.
බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 27 කට ආසන්න පළපුරුද්දක් සහිත ශ්‍රී ගණේන්ද්‍රන් මහතා, ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ජ්‍යේෂ්ඨ තනතුරු රැසක් දරා ඇති අතර, ඒ මහතාගේ විශේෂඥතාව බැංකු මෙහෙයුම්, පාරිභෝගික සේවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ, ශාඛා බැංකුකරණය, මෙහෙයුම් අවදානම් කළමනාකරණය, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය, ව්‍යාපාර ඒකාබද්ධ කිරීම, ක්‍රියාවලි ප්‍රශස්තකරණය, මෙහෙයුම් විශිෂ්ටත්වය, විකුණුම් පාලනය, ණය කාඩ් පත් මෙහෙයුම්, තොරතුරු ආරක්ෂණය සහ ප්‍රසම්පාදන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවක් දක්වා විහිදී යයි.
ශ්‍රී ගණේන්ද්‍රන් මහතාගේ පුළුල් මෙහෙයුම් පළපුරුද්ද, ප්‍රායෝගික නායකත්ව හැකියාව, කණ්ඩායම් මෙහෙයවීමේ හැකියාව සහ උපාය මාර්ගික ශක්‍යතාව තුළින් ආයතන පරිවර්තනීය ලෙස වර්ධනය කිරීමට ඒ මහතාට හැකියාව ලැබී ඇත.
එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සාමාජිකයෙකු, වරලත් සුරැකුම්පත් හා ආයෝජන ආයතනයේ (CISI) සහකාර සාමාජිකයෙකු මෙන් ම ශ්‍රී ලංකා වෘත්තීය බැංකු කරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන ශ්‍රී ගණේන්ද්‍රන් මහතා, ඇමරිකානු නාගරික විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇත.
කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ව ශ්‍රී ගණේන්ද්‍රන් මහතා සතු පුළුල් අත්දැකීම්, ශක්තිමත් පාලන ශක්‍යතාව සහ ජනතා කේන්ද්‍රීය නායකත්වය ජනශක්ති ෆිනෑන්ස් සමාගම උපාය මාර්ගික දිශානතියකට යොමු කරමින්, මෙහෙයුම් විශිෂ්ටත්වය, සංවිධානාත්මක බව, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය කරා මෙහෙයවීමට නිරන්තර ශක්තියකි.