JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, පසුගියදා පැවති TAGS Awards 2025 (Transparency, Accountability, Governance and Sustainability) හිදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික යහපාලනය, විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණයේදී ඉහළම ප්රමිතීන් අනුගමනය කිරීම වෙනුවෙන් සම්මාන පිරිනමන මෙම සම්මාන උළෙලේ 60 වන සංවත්සරය මෙවර යෙදී තිබිණි.
දියමන්ති ජුබිලිය සැමරූ මෙවර TAGS සම්මාන උළෙල පවත්වන ලද්දේ කොළඹ Shangri-La හෝටලයේදීය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලට කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සහයෝගයද හිමි වී තිබිණි.
ආයතනික වාර්තාකරණයේදී විශිෂ්ටතම ක්‍රමවේදයන් අනුගමනය කළ සමාගම් හා ආයතන රාශියක් පසුගිය වාර 60 ක කාලය පුරා මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වී තිබේ. මෙවර සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට ආයතනික පාලන අනාවරණය සඳහා පිළිගැනීමේ සහතිකයක් (මූල්‍ය සේවා විශේෂ සම්මාන කාණ්ඩය), ඒකාබද්ධ වාර්තාකරණය සඳහා පිළිගැනීමේ සහතිකයක් සහ ෆිනෑන්ස් සමාගම් හා කල්බදු සමාගම් (සමූහ වත්කම් රු. බිලියන 25 – 75) කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් හිමි විය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් දැඩි ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව පිරිනමන ලද මෙම සම්මාන, ශ්‍රී ලංකාවේ ෆිනෑන්ස් සහ ලීසිං සේවා ක්ෂේත්රය තුළ වගකීම්සහගත සහ මනා පරිපාලනයක් සහිත සමාගමක් ලෙස ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.
මෙම සම්මාන හිමි වූයේ ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී විසින් අවසන් වරට ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික වාර්තාව වෙනුවෙනි. මෙම වාර්තාව, සමාගමේ මූල්‍ය කාර්යසාධනය, ආයතනික පාලන රාමුව, අවදානම් කළමනාකරණ පිළිවෙත්, තිරසාර වැඩසටහන් සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය සම්බන්ධ ප්‍රවේශය යනාදිය සන්නිවේදනය කරන ඵලදායී මාධ්‍යයක් ලෙස හැඳින්විය හැක. මූල්‍ය සේවා ක්ෂේත්රයේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශිෂ්ට අන්දමින් පිළියෙල කර ප්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාවට, සමාගමේ ආයතනික පාලන ව්‍යුහයන්, අභ්‍යන්තර පාලන විධිවිධාන සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ආදිය සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්ද ඇතුළත් වී තිබිණි.
මෙම වාර්තාව තුළ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඒකාබද්ධව ඉදිරිපත් කිරීම මඟින් ආයතනික යහපාලනය තිරසාර කාර්යසාධනයට සහ ක්‍රමෝපායික වර්ධනයට වැදගත් වන ආකාරය පැහැදිලි වන අතරම, එය නියාමන අවශ්‍යතා, පාර්ශ්වකරුවන්ගේ වෙනස් වන අපේක්ෂාවන් සහ වාර්තාකරණය සම්බන්ධ විශිෂ්ටතම ගෝලීය ක්‍රමවේදයන් සමඟද මැනැවින් සමපාත වී ඇත.
මෙම සම්මාන හිමි වීම පිළිබඳව ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගජේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය. “2025 TAGS සම්මාන උළෙලේදී මෙම සම්මාන හිමි වීම ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ ඉදිරි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. මෙම සම්මාන අපගේ වාර්තාකරණ සම්ප්රදාය තුළ අන්තර්ගත වී ඇති විනය, විනිවිදභාවය සහ වගවීම වැනි ගුණාංග මැනැවින් පිළිබිඹු කරනවා. අපගේ වාර්ෂික වාර්තාව නියාමන විධිවිධානවලට අනුකූල වීමට පමණක් සීමා වන්නේ නෑ. එය අපගේ ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය සහ තිරසාර වටිනාකම් නිර්මාණය පිළිබඳ පැහැදිලි, පුළුල් අවබෝධයක් පාර්ශ්වකරුවන්ට ලැබෙන ආකාරයට සැලසුම් කළ වාර්තාවක්. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මෙම ස්වාධීන ඇගයුම අපගේ ගනුදෙනුකරුවන්, ආයෝජකයන්, නියාමන ආයතන සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සියලුම පාර්ශ්ව අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි කියා අප සිතනවා.”
මෙම සම්මාන, ආයතනික පාලනය සහ තොරතුරු අනාවරණය සම්බන්ධ ඉහළම ප්රමිතීන් ආරක්ෂා කරගනිමින් නියාමන විධිවිධානවලට අනුකූලව කටයුතු කරන අතරම, දිගින් දිගටම තම ආයතනික වාර්තාකරණයේ ප්‍රමිතිය සහ සුපැහැදිලිතාව වැඩිදියුණු කරගැනීම සඳහා සමාගම දරන නිරන්තර උත්සාහයට ලැබුණු ඇගයීමක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම ජයග්‍රහණයත් සමඟ ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී නැවත වරක් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රයට වගකීම්සහගත මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ පැහැදිලි ආදර්ශයක් ලබා දී තිබේ. මේ ආකාරයට 2025 TAGS සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම මඟින් සමාගම කෙරෙහි එහි පාර්ශ්වකරුවන් තුළ ඇති විශ්වාසය ශක්තිමත් වනු ඇති අතර, ඒ ඔස්සේ විශ්වාසනීය, විනිවිදභාවයෙන් යුත් සහ අනාගතය කෙරෙහි අවධානය යොමු කර ඇති මූල්‍ය ආයතනයක් ලෙස සමාගම දිනා ඇති කීර්තිනාමය තවදුරටත් තහවුරු වනු නිසැකය.
අවසානයි.
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පී එල් සී) පිළිබඳව
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් සේවා), විකල්ප මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ වසර 44 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.

2025 TAGS සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට ෆිනෑන්ස් සමාගම් හා ලීසිං සමාගම් කාණ්ඩයේ ලෝකඩ සම්මානය හිමි වූ අවස්ථාව
